Home » » ඌණ සංවර්ධනය - Undevelopment

ඌණ සංවර්ධනය - Undevelopment



ඌණ සංවර්ධනය




වචනය දැක්ක ගමන්ම මතක් වෙන්නෙ 
සෝමාලියාව වගේ අප්‍රිකානු රටවල් නේද?  

සෑම ජාතියක්ම, සෑම රටක්ම, සෑම ප්‍රදේශයක්ම, සෑම නගරයක්ම, සෑම ගමක්ම, සෑම පුද්ගලයෙක්ම උත්සාහගන්නේ සංවර්ධනය වෙන්න. ඒ කියන්නේ මුලු ලෝකයේම උත්සාහය සංවර්ධනය වීම. එතකොට මේ සියලුදෙනා අසංවර්ධිතද? නැතිනම් ඌණ සංවර්ධනයේ පසුවන්නේද? නැත. සංවර්ධිතයින් තවතවත් සංවර්ධනය වීමටත්, ඌණ සංවර්ධිතයින් ඒ පසුපස හඹායාමටත් ගන්නා උත්සාහය නිසයි මෙය සිදුවී තිබෙන්නේ. කලින් සංවර්ධනය ගැන කතාකල නිසා මෙවර ඌණ සංවර්ධනය ගැන කතාකරමු.

දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකයේ රටවල් දෙස බැලු විද්වතුන්ට සමහර රටවල්වල ජනතාව උසස් ජීවන තත්ත්වයක් භුක්ති විදින ආකාරයත් අනෙක් රටවල් පහත් ජීවන තත්ත්වයකට උරුමකම් කියන ආකාරයත් හදුනාගත හැකි විය. ඒ අනුව උසස් ජීවන තත්ත්වයක් පැවති රටවල් සංවර්ධිත රටවල් ලෙසද පහත් ජීවන තත්ත්වයක් පැවති රටවල් සංවර්ධනය වෙමින් පවතින රටවල් ලෙසද හදුන්වාදීමට විවිධ විද්වතුන් උත්සාහගන්නා ලදී. ඒ අනුව මෙම සංවර්ධනය වෙමින් පැවති රටවල් සදහා උණ සංවර්ධිත රටවල්, අසංවර්ධිත රටවල්, පසුගාමී රටවල්, දකුණේ රටවල් ආදී විවිධ නාම වලින් හදුන්වාදීමට උත්සාහ ගෙන ඇත. ඌණ සංවර්ධනය යනු සංවර්ධනයේ පසුගාමී ලක්ෂණ පෙන්වීමට යොදාගත් වචනයක් ලෙස හදුනා ගත හැකිය.

19 වන සියවසේ සිටම ඌණ සංවර්ධනය යන්න යොදා ගනු ලැබුවේ සංවර්ධනයේ පසුගාමීත්වය, සංවර්ධනය කරා පිවිසීමට ඇති නොහැකියාව යනාදී ලක්ෂණ පෙන්නුම් කිරීම උදෙසාය. එසේම ඌණ සංවර්ධනය මුල් කාලීනව බොහෝදුරට පාරිසරික නියතවාදය මගින් පෙන්වා දුන්නේ මානව වාර්ගික හා පාරිසරික අවාසි හේතුකොට ගෙන සිදු වුවක් වශයෙනි. නමුත් මෑත කාලීන ලක්ෂණ අනුව බලන විට ඌණ සංවර්ධනය ඇතිවී තිබෙන්නේ සංවර්ධනය වීමට ඇති නොහැකියාව, පරාධීනතාව (වෙළදාම හා තාක්ෂණය), යටත් විජිතකරණය, යටත් විජිතහරණය, නව යටත් විජිතවාදය මෙන්ම එක්සත් ජනපදය, සෝවියට් රුසියාව, චිනය අතර පැවති ශිතල යුද්ධයේ අතුරුඵල යනාදී හේතු සාධක රාශියක බලපෑම තුලිනි.

ඌණ සංවර්ධනය හදුනාගැනීමට ප්‍රධාන සාධක කීපයක් යොදාගත හැකිය. රටක ජන සංඛ්‍යා වර්ධන වේගය අධික වීම, ජන සංඛ්‍යාව අධික වීම, ඒක පුද්ගල ආදායම අඩුවීම, සමාජ සංවර්ධනය අඩු වීම, දළ ජාතික ආදායමට කර්මාන්ත වලින් ලැබෙන දායකත්වය අඩු වීම, ද්විතීක හා තෘතික සහ චාතුර්ථීක ආර්ථික කටයුතු වල සීමා සහිත බව විද්‍යාත්මක හා තාක්ෂණික ක්‍රමෝපයන්ගේ නොදියුණු භාවය, ලෝක වෙළදාම තුල මෙම රටවල් පසුගාමී වීම, හුදකලාබව, දරිදද්‍රතාව, දේශපාලන අස්ථාවරත්වය, ගෝලීයකරණය සදහා ශක්තිමත්ව මුහුණ දීමේ හැකියාව තොර වීම ආදී ඌණ සංවර්ධිත ලක්ෂණයන් හදුනාගත හැකිය.

ඌණ සංවර්ධනය සහිත ලෝකයේ ප්‍රධාන කලාප කීපයක් හදුනාගත හැකි අතර ලතින් ඇමරිකානු කලාපය ඉන් එකකි. මේ කලාපයට මධ්‍යම ඇමරිකානු රටවල් සහ දකුණු ඇමරිකානු රටවල් අයත් වන අතර වර්තමානය වන විට මේ කලාපය වේගවත් සංවර්ධන ගමනක නිරතවිමේ පුතිඵලයක් ලෙස බ්‍රසීලය, මෙක්සිකෝව, ආජන්ටිනාව වැනි රටවල් කිහිපයක්ම නව කාර්මික රටවල්  ලෙස ඉදිරියට පැමිණ ඇත. තවත් කලාපයක් ලෙස අප්‍රිකානු කලාපය හදුනාගත හැකි අතර අප්‍රිකානු මහද්වීපයේ දකුණු අප්‍රිකාව හැර අනෙකුත් රටවල් මීට අයත් වේ. මේ කලාපයේ දරිදුතාව සංකේන්දුය වී පවතින අතර ඉතා පසුගාමී ලක්ෂණ සහිත කලාපයක් ලෙස හදුනාගත හැකිය. අනෙක් කලාපය වන්නේ ආසියානු කලාපයයි. මෙම කලාපයේ ජපානය සංවර්ධිත රටක් වන අතර චීනය, දකුණු කොරියාව, සිංගප්පුරුව, තායිවානය, හොංකොං යනාදී රටවල් අයත් වන නැගෙනහිර හා අග්නිදිග ආසියානු රටවල් නව කාර්මික රටවල් ලෙස ඉදිරියට ඒමත් දකුණු ආසියානු රටවල් පසු ගාමීත්වයක් පැවතීමක් හදුනාගත හැකිය.

ලෝකයේ සමහර රටවල් සංවර්ධිත තත්ත්වයේ පසුවීමටත් අනෙක් රටවල් අසංවර්ධිත වීමටත් බලපෑ හේතු ගණනාවකි. විශේෂයෙන්ම 19 සියවස වන විට මේ රටවල් බොහොමයක් යටත් විජිත වශයෙන් පැවති අතර ආසියානු, අප්‍රිකානු, ලතින් ඇමරිකානු රටවල් බටහිර ජාතීන්ගේ අධිරාජ්‍යවල යටත්විජිත ලෙස පැවතුනි. බටහිර අධිරාජ්‍යවාදීන් වෙළද පරමාර්ථ ඇතිව මෙම රටවල් යටත් කරගනු ලැබුවද පසුකාලීනව අරමුණ සංකීර්ණ වී මේ රටවල පරිපාලනයට ද අධිරාජ්‍යවාදී රටවල් යොමු වු ආකාරය හදුනාගත හැකිය. ස්වභාවික සම්පත් විභවතාවයකින් පැවති මෙම ආසියානු, අප්‍රිකානු, ලතින් ඇමරිකානු රටවල් යටත් විජිත කරගැනීම හේතුවෙන් බටහිර රටවලට විශේෂ වාසි අත් විය. වෙළදාමෙන් ලබන ලාභය‍ට අමතරව යටත් විජිත සියල්ලක්ම සුරා කෑමකට ලක් විය. සම්පත්, ධනය, ශ්‍රමය ආදී සියලු දේ බටහිර ජාතීන් විසින් තම මව් රටවලට ගෙන ගිය අතර  එමගින් මව් රටවල් පෝෂණය කිරීමක් සිදු විය. මේ නිසා ධනයෙන්, බලයෙන්, දැනුමෙන් පෝෂණය වු සුලුතරයක් වු බටහිර රටවල් සීඝ්‍ර සමාජ, ආර්ථික සංවර්ධනයක් ලබා ගනිමින් සංවර්ධිත ජාතීන් බවට පත් වීමත් මෙතෙක් ස්වයංපෝෂිත ආර්ථික රටාවක සිටි යටත් විජිත පසුගාමී සංවර්ධන ලක්ෂණ පෙන්නුම් කරන තත්ත්වයටත් පත් විය.

යටත් විජිතකරණය හේතුවෙන් යටත් විජිත රටවල මානසිකත්වයද පසුගාමී ආකල්ප වලින් යුක්ත විය. මෙම පසුගාමී මානසිකත්වය හා ආකල්ප යටත් විජිත වලින් නිදහස ලැබීමෙන් පසුවද සංවර්ධනය විමක් සිදුනොවු අතර ගෝලීයකරණය හරහා ඇති වු නව යටත් විජිතවාදය මගින් මෙම ආකල්ප හා මානසිකත්වය තවතවත් පසුගාමී කර ඇත. මේ නිසා මෙම රටවල් තාමත් බටහිර රටවලට අමු දුව්‍ය සපයන එම රටවල භාණ්ඩ සදහා වෙළදපොළ සපයන රටවල් බවට පත්ව ඇත. ගෝලීයකරණය හරහා ධනවාදී රටවල් තම පැවැත්ම ස්ථාවර කරගනිමින් සංවර්ධනය වන රටවල් ඒ හරහා යටත් විජිත කරගැනීමට උත්සාහ දරයි. ප්‍රබල රටවල් කීපයකට අවශ්‍ය පරිදි සමස්ථ ලෝක ක්‍රියාවලියකම ක්‍රියාත්මක වේ. විශේෂයෙන්ම ඌණ සංවර්ධිත රටවල සියලු ක්‍රියාකාරකම් බටහිර ජාතීන්ගේ මෙහෙයවීම මත සිදුවන ආකාරය හදුනාගත හැකිය. එසේම සංවර්ධන ක්‍රියාවලිය තුලද බටහිර සංවර්ධන ආකෘතියම මේ රටවලට ගැලපීමට උත්සාහ ගන්නා අතර මේ නිසා සුලු සංවර්ධනයක් මේ රටවල ඇති වුවත් ඊට වඩා අධික වේගයකින් බටහිර ජාතීන් සංවර්ධනව වේ. මේ නිසා  සංවර්ධන පරතරය ඉතා සීඝ්‍රව වර්ධනය වන ආකාරය හදුනාගත හැකිය. ඇතැම් විද්වතුන් ඌණ සංවර්ධිත රටවල සංවර්ධන ගමන පාපැදියකින් සිදු කරන බවත් බටහිර ජාතීන් එය දුම්රියකින් සිදු කරන බවත් දක්වන්නේ මෙම සංවර්ධන පරතරයේ වේගවත් වර්ධනය නිසාවෙනි.

එසේම මෙම ඌණ සංවර්ධිත රටවලට කිසිදා බටහිර ජාතීන් ලබා ඇති සංවර්ධනය ලබා ගත හැකි දැයි ගැටලුවකි. බටහිර රටවල් ඔවුන්ගේ සංවර්ධනය ලබාගැනීමට ලෝකයේ සම්පත් වලින් අඩක්ම භාවිතාකර ඇත. ඒ අනුව තෙවන ලොව රටවලට එම තත්ත්වය ලබාගැනීමට අවශ්‍ය සම්පත් මෙලොව ප්‍රමාණවත් නොවන අතර, අසංවර්ධිත රටවලට සංවර්ධිත රටවල තත්වය ලබාගැනීම සදහා තවත් මෙවැනි ග්‍රහලෝක හතක පමණ සම්පත් ප්‍රමාණයක් අවශ්‍ය බව විද්වත් මතය වී ඇත. එසේම ඌණ සංවර්ධිත රටවල සිටින අධික ජන සංඛ්‍යාව, වේගවත් ජන සංඛ්‍යා වර්ධනය, ජන සංඛ්‍යාවේ මානව සංවර්ධනයේ පහත් බව, නවීන විදාත්මක හා තාක්ෂණික දැනුමේ හිගකම, ප්‍රාග්ධනය හිගකම වැනි ගැටලු නිසා ඌණ සංවර්ධනය තවතවත් වර්ධනය වන ආකාරයත් සංවර්ධන පරතරය වර්ධනය වන ආකාරයත් හදුනාගත හැකිය.


Written by : Your Name - Describe about you

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Etiam id libero non erat fermentum varius eget at elit. Suspendisse vel mattis diam. Ut sed dui in lectus hendrerit interdum nec ac neque. Praesent a metus eget augue lacinia accumsan ullamcorper sit amet tellus.

Join Me On: Facebook | Twitter | Google Plus :: Thank you for visiting ! ::

2 comments: